Monday, June 4, 2007

ඔබට හැකිනම්...!

ඔබ වටා සිටිනා සැමදෙනම ඔවුන්ගේ සිහි විකල කරගන ඒ ගැන ඔබට දොස් පවරන විටත් ඔබට මනා සිහියෙන් යුතුව සිටින්නට හැකිනම්,
ඔබ අවට වන සැමදෙනම ඔබ සැකයට පාත්‍ර කරන විටත් ඔබට ඔබ ගැන විශ්වාසය තබා සිටිය හැකි අතර, සෙස්සවුන්ගේ සැකයට බදුන් වීමටත් ඉඩ සැලසිය හැකිනම්,
බලා සිටීමෙන් වෙහෙසට පත්නොවී බලා සිටීමට ඔබට හැකිනම්,
ඔබ ගැන අසත්‍ය ප්‍රකාශ කෙරෙන විටත් සත්‍යයෙහිම රැදෙන්නට ඔබට හැකිනම්,
ඔබට වෛර කරද්දීත් අවෛරයෙන්ම සිටීමට ඔබට හැකිනම්,
එසේම වඩා හොඳ බවකුත් වඩා නුවණැති බවකුත් කතාබහේදී නොහඟවන්නට ඔබට හැකිනම්,
සිහින දුටුවද ඒ සිහින ඔබගේ ස්වාමියා කර නොගත හැකිනම්,
ඔබට සිතන්නට හැකි උවත් සිතුවිලි ඔබගේ එල්ලය කර නොගත හැකිනම්,
ජය පරාජය වෙසින් ඔබ හමුවට එන මිතුරන් දෙදෙනාට එකසේ සැලකීමට ඔබට හැකිනම්,
ඔබ පැවසූ සත්‍යය අශිෂ්ටයින් විසින් මෝඩයන් හට උගුල් ඇටවීම සඳහා වැරදි ලෙස පවසද්දීත් එය ඉවසා අසන්නට ඔබට හැකිනම්,
ඔබ ජීවය දුන් දේ සුණු විසුණු වනු දැක ගෙවී ගිය මෙවලම් වලින් යලි ඒවා ගොඩනැංවීමට ඔබට හැකිනම්,
දූ කෙලියෙන් ඔබ දිනූ මුදල් සම්භාරය එකම ඔට්ටුවකට තබා ඉන් පැරදී ගිය විටත් ඔබට වූ පාඩුව පිලිබඳව වචනයක්වත් නොදොඞා සිටීමට ඔබට හැකිනම්,
ඔබේ හදවතත් නාඩි ශක්තියත් ඔබගෙන් ඉවත්ව දිගු කලකට පසුත් රැදී සිටුව'යි ඒවාට කීමට ඔබ තුල වෙන කිසිවක් නැතත් ඔබේ සේවය ඉටුකිරීමට ඒවාට බලකර සිටීමට ඔබට හැකිනම්,
ඔබේ ප්‍රතිපත්ති පවත්වා ගනිමින් ජන සමූහයකට කථා කරන්නට ඔබට හැකිනම්,
සියල්ලන්ම පිලිගන්නා අතර කිසිවකුත් පමණට වඩා එසේ නොකල හැකිනම්,
පොදු ජනතාවගෙන් ඈත් නොවී රජුන් සමග ඇවිදීමට ඔබට හැකිනම්,
සතුරන් හටත් මිතුරන් හටත් ඔබට රිදවිය නොහැකි නම්,
අනුකම්පා විරහිත ඔබට ඔබ සතු අවසාන මිනිත්තුවේදීත් එහි තප්පර හැටම වෑයමෙන් පිරවිය හැකිනම්,
විශ්වයේ ඇතිතාක් සියල්ල ඔබගේ ය.
එපමනක් ද?
ඔබ මිනිසෙක් ද වෙති.
එම්බා මාගේ පුත්‍රය !

-රුඩ්යාඩ් කිප්ලිං-

1 comment:

Anonymous said...

"මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව තියෙද්දි, සීයට අනූවක් පමණ ඉදුම් හිටුම් ,
ඇදුම් ඇගලුම් නැතිව දුක් විඳිද්දි , නුඹලා මෙහි රැස්වී බ්‍රම්මඥානය ගැන කතා කිරිමේ තේරුම කුමක්ද?
අපේ මව් රට දිනෙන් දින ම ප්‍රපාතයට වැටෙනවා. එහෙත් අපේ චිනිතකයෝ අවශ්‍ය ප්‍රශ්න ගැන
නොසිතා බ්‍රහ්මන් ගැන දොඩවනවා. මා මේ සම්මේලනයට ආවේ , මෙහි වැදගත් දෙයක් ගැන
සාකච්ඡා කරනවා ඇතැයි සිතාගෙනයි. එහෙත් මේ ප්‍රලාපවලට කන් දීමෙන්
වැඩක් නැති බව මට පෙනෙනවා"

"මොකක්ද ආත්මය රකිනවි කියන එකේ තේරුම?ඉන්දියාවෙ මිනිස්සුන්ට මොකොද වෙලා
තියෙන්නේ ? ආත්මය රකිනවයි කියලා බ්‍රහ්මන් ගැන භාවනා කර කර ඉන්නවා, එරමිණිය
ගොතාගෙන. ඒ අතරතුර ඉංග්‍රීසිකාරයෝ රට හූරගෙන කනවා."

(වල්මත්වි හසරක් නොදුටිමි-353-355-එදිරිවීර සරච්චන්ද්‍ර)

ඔබ විසින් ප්‍රචාරය කිරීමට යත්න දරන දර්ශනය බුදු දහමට හෝ මාක්ස්වාදයට අත්‍යයන්තයෙන්ම
ප්‍රතිපක්ෂ ගූඪ දර්ශනයකි. එය පුරාණ භාරතීය ශුන්‍යතා දර්ශනයටද ඛලීල් ජිබ්රාල්ගේ සාර්ව අසාරි
දර්ශනයටද නෑකම් කියන්නකි.කර්මයට අනුව සියල්ල සිදුවෙතැයිද මිනිසා විෂයලෝකයෙන් පළා
ගොස් සැඟව සිටිය යුතුයයිද සාරය අසාරය ,හොදය නරකය කියා ලෝදහමක් නැතැයිද ප්‍රකාශිත
යථෝක්ත දර්ශනයෙන් මිනිසාට ලෞකික හෝ අධ්‍යාත්මික විමුක්තියක් ලැබිය නොහැකිය.එහෙයින්
එය කාලය නමැති ප්‍රවාහයට හසුව, සෙසු ගූඪ දර්ශන, ශූන්‍යතා දර්ශන මෙන්ම වියැකී යනු ඇත.(එම
දර්ශනය මිනිසා කුසීතයකු කොට තමා ලබා උපන් ආකාරයටම මියයාමට අවශ්‍යය අවස්ථාව ලබා
දෙනු ඇත.)එය අපේ අතීත පරම්පරාව විසින් සොබාදහමට එරෙහිව අරගල කොට ගොඩනැඟු
සංස්කෘතියට ශිස්ටාචාරයට පිටුපෑමකි. අනාගත මානව ප්‍රගතියට වැට බැදීමකි.එහෙයින් අපේ
උප්පැන්නයට සීමාවී ඇති බෞද්ධ දර්ශනයට සහ සමාජ යථාර්ථය අවබෝධ කර ගැනීමට මාක්ස්වාදය
වෙතට යොමුවන මෙන් ඉල්ලා සිටිමි.එවැනි තුලනාත්මක අධ්‍යයනයකින් සමාජ යථාර්ථයද
මාක්ස්වාදයේ යම් යම් දුබලතාද බුදුදහමේ සර්වකාලීනත්වයද අවබෝධ කර ගැනීම අපහසු නොවනු
ඇත.එහෙයින් රුඩ්යාඩ් කිප්ලිංගේ දර්ශනයට නැඹුරුවීම මැණික් ගල් අතැර කළුගලක් බදා ගැනීමට
නොදෙවෙනි ක්‍රියාවක් බව මගේ අදහසයි.