Tuesday, June 5, 2007

රින්සායීගේ කියමන්

ඔබට ඉගැන්විය යුතු කිසිවක් මට නැත. මට කල හැකි එකම දෙය නම් ඔබගේ රෝග වලින් ඔබ නිදහස් කිරීමත්, ඔබගේ මනස එය බැදී තිබෙන බැදීම් වලින් නිදහස් කිරීමත් ය.
මගේ වචනවල එල්ලී නොසිටින්න. ඔබ විසින් කල යුත්තේ සිතීම නැවැත්වීමත්, පිළිතුරු සෙවීමට උත්සාහ ගැනීම නැවැත්වීමත් ය. එමෙන්ම එය මෙම මොහොතේම කරන්න.
ඔබට අවබෝධ වන්නේ නම්, ඔබ ඉපදීමටත් මරණයටත් බිය නොවනු ඇත. නැවතීමට සහ පිටවීමට ඔබට නිදහස ලැබෙනු ඇත.
බුදු බව සොයා නොයන්න. මක් නිසා ද, එය ඔබ කිසිසේත් ම බලාපොරොත්තු නොවන අවස්ථාවක ඔබ වෙත පැමිණෙන බැවිනි.
අනුන්ගෙන් නොරැවටෙන්න. තමාම විශ්වාස කරන්න. අවශ්‍ය වන්නේ එ පමණි.
ඔබ තුල ආත්ම විශ්වාසය නැත්නම්, ඔබ බාහිර දේ වල එල්බගෙන ඔබේ නිදහස නැතිකර ගන්නෙහි ය.
ඔබ තුල ආත්ම විශ්වාසය නැත. එමනිසා ඔබ බාහිර යමක් සොයා යන්නෙහි ය. එසේ ඔබ ජයග්‍රහණය කලහොත් ලැබෙනුයේ නම් සහ වචන පමණි. ඔබට ජීවමය මූලධර්මය අසුවන්නේ නැත.
අපේ ජීවිතයේ විවිධාකාර ක්‍රියාවන් තුල යම්කිසි අඩුවක් පෙනෙන්නේ ද? අවශ්‍ය සෑම දෙයක්ම එහි ඇත. එමෙන්ම එය දැකිය හැකි තැනැත්තාට ජීවිතය කිසිඳු කරදරයක් නැතිව ගතකල හැක.
බාහිරව කිසිවක් නොසොයන්න. එවිට ඔබ බුදුවරයෙකි.
පඞිවරුන් සහ සූත්‍ර, මම ඒවාට කෙළ ගසමි. ඔබ විසින් දැනගත යුතු එකම දෙය නම්, ඔබ කොහේ සිටියත් ඔබේ ගෙදරට යන පාරේ සිටින බව ය.
අපි දුක් විඳින්නේ අපේ ප්‍රඥාව අපේ හැගීම් වලින් වැසී තිබෙන නිසාත්, අපේ සිතුවිලි වලින් අපේ මූල ද්‍රව්‍යය වෙනස් වී නිසාත් පමණි. මම ඔබට එය කියමි.
නොවැදගත් වූ කිසිදෙයක් ඇත්තේ නැත. එමෙන්ම, රහත්භාවයට පත් කරවිය නොහැකි කිසිදු සත්වයෙකු ඇත්තේ ද නැත.
මා දකින ආකාරයට දැකීමට ඔබට හැකිවන විට, බුදුවරුන්ගේ හිස උඩ හිඳගන සිටීමට ඔබට හැකිවනු ඇත.
බුද්ධත්වය ලැබීම සඳහා ඔබ තුල ඇති බලාපොරොත්තුව ඔබගේ කරපිට යෙදූ වියගසක් බඳු ය. බුද්ධත්වය යනු වැසිකිළියෙහි තිබෙන අසූචි ය.
බෝධි ධර්ම සහ නිර්වාණය බූරුවන් බැඳ තබන කණු ය. මේ විකාර සියල්ල අමතක කර දමන්න.
සිත් තැව්ලින් යුතුව කාලය ගත නොකරන්න. සිදුවන සියල්ලක්ම ඒ සිදුවන ආකාරයට පිළිගන්න. ඔබට ඇවිදීමට සිතෙන විට ඇවිදින්න. එමෙන්ම ඔබට හිඳගැනීමට සිතෙන විට හිඳගන්න.
ඔබ බුදුන් වහන්සේ සොයන්නේ නම් උන් වහන්සේ නිකම්ම නමක් පමණක් වනු ඇත.
මෝඩ තකතීරුවනි!!!
සැකය යන්න යකෙකි. කිසිම දෙයක් මවා නැති බවත්, ලාබ ලැබීමට හෝ පාඩු ලැබීමට කිසිවක් නැති බවත්, අවබෝධ කර ගැනීමට කිසිවක් නැති බවත් බුදුවරයෙක් දනී.
සැක කිරීමට හේතුවක් ඇත්තේ නැත. එහෙත් ඔබ මෙය විශ්වාස නොකරන නිසා ඔබේ සෑම සිතිවිල්ලක් ම බාහිර දේ ලුහුබැඳීමට යොමුවී ඇත. ඔබ, වෙනත් හිසක් සොයා ගැනීම සඳහා තමන්ගේ හිස අතහරින්නෙකු වැනි ය.
පරම සත්‍යය අත ලඟම තිබේ. එය සුදුසු අවස්ථාව එනතුරු බලා සිටින්නේ නැත.
ධර්මය යැ’යි පැහැදිලිව උගන්වා ඇති දෙයක් නැත. මට කලහැකි එකම දෙය නම්, විශේෂ ලෙඩකට ගැලපෙන සුදුසු ප්‍රතිකාරයක් නියම කිරීම ය.
සත්‍යය ඇත්තේ මෙතන යැ’යි සිතා පැරණි ආචාර්යවරුන් පසුපස නොයන්න. ඔවුහු මෝඩයන්ට කිහිලිකරු පමණක් වෙති.
බුද්ධත්වය ලැබෙනුයේ යමක උපකාරයෙන් රඳා පැවතීමෙන් නිදහස් වීමෙනි. එය එපමණින්ම ලාභයක් නොවේ. මෙය අවබෝධ කර නොගන්නා තැනැත්තා තමා අන්ධ කොට තබන්නා දෘෂ්ඨීන් හි පැටලී සිටින්නේ ය.
උපතින් හා මරණයෙන් නිදහස් ව ඔබට ස්වාධීන වීමට අවශ්‍ය නම් ඔබ කවුදැ යි හඳුනා ගන්න.
ප්‍රබුද්ධ මිනිසා ආගමික ග්‍රන්ථ වලට ඔහුගේ පසුපස හරවයි. ඒවා බුද්ධත්වයට නගින පඩිපෙලවල් පමණි.
කාලය අතිශයින් වටිනේ ය.
මොහොතක් තුල නිත්‍යත්වයක් නැත. වෙනස්වීම නොනැවතී සිදුවෙයි.
ඔබ ආශාව පිළිබඳ සිතිවිල්ලක් ජනිත කරවන්නෙහි නම්, ඔබ ගිලී යනු ඇත, ඔබ ද්වේෂ සහගත සිතිවිල්ලක් ඇති කර ගත හොත්, ඔබ පිලිස්සී යනු ඇත. ඔබ සැක සහිත සිතිවිල්ලක් ඇති කර ගත හොත්, ඔබ බැඳී යනු ඇත. ඔබ ප්‍රීතිමත් සිතිවිල්ලක් ඇති කර ගන්නෙහි නම්, ඔබ වාත වේගයෙන් ඉරී යනු ඇත.
කිසිම දෙයකයට විරුද්ධ නොවිය යුතු ය. ඔබ සාමාන්‍ය දේ පහත් කොට සලකමින් පූජනීය දේ උසස් කොට සලකන්නෙහි නම්, ඔබ සාමාන්‍ය දේට සහ පූජනීය දේට බැදී යටත්ව සිටින්නෙහි ය.
සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නවුනි, නොරැවටෙන්න. කිසිම දෙයක එයට සුවිසේෂ වූ ස්වභාවයක් හෝ සාරයක් ඇත්තේ නැත. අපි වචන නිසා මේ කරුණු සම්භන්ධව රැවටීමට පත් වන්නෙමු.
ඔබ සොයන්නේ කුමක් ද? ඉතාමත් ම උසස් ඉගැන්වීම ඇතුලත් ග්‍රන්ථ පවා කුණු කූඩයට දැමීමට සුදුසු කොල පමණි. ඒවා සුදුසු වන්නේ ද අසූචි තැවරුණු තැනක් පිස දැමීම සඳහා පමණ ය.
සියලුම ආකාරයේ බලාපොරොත්තු වලින් බිහිවන්නේ දුකකි.
බුදුන් වහන්සේ අවසාන පරමාර්ථය හැටියට ඔබ සලකන්නේ ඇයි? උන්වහන්සේ පවා මරණයට පත් වූ පත් වූ සේක් නොවේ ද? එසේ නම් මම උන්වහන්සේගෙන් කෙසේ වෙනස් වන්නෙම් ද?
අනිත් අය පසුපස යාමෙන් සහ පොත් කියවා දැනීම රැස් කිරීමෙන් සිදුවන්නේ එම බැමි වලින් බැදී යෑම පමණි. කල යුතු ඉතාමත්ම හොද දෙය වන්නේ, බරපතල ප්‍රශ්න අමතක කර දමා නිසංසල තැනකට ගොස් භාවනා කිරීම ය. මෙය කිරීමට සෑහෙන චිත්ත ධෛර්යයක් අවශ්‍ය ය.
සැක කිරීමට ඇත්තේ කුමක් ද ?
සියල්ලකට ම සිදුවන ආකාරයට සිදුවීමට ඉඩ හරින්න. එක් එක් දෙය සොයමින් යෑම හෝ ඉවතට පැන දිවීම නොකරන්න.
නොරැවටෙන්න. පිටතින් හෝ ඇතුලතින් සොයා ගැනීමට කිසිවක් ඇත්තේ නැත. එමෙන් ම, මගේ වචන තුල එල්ලී නොසිටින්න. ශාන්තව ශූන්‍ය වූ මනසින් ඔබේ ගමන යන්න. අඳින ඇදුම් අඳිමින්, කෑමට තිබෙන බත් ටික බුදිමින්, නිසංසලව සාමාන්‍ය ආකාරයට ජීවත් වීම හොඳටම සෑහේ.
සියලුම කරදර වල මුල ඇත්තේ මනස තුල ය. ඒවයින් නිදහස් වීම සඳහා වටපිට බලන්නේ ඇයි ?
ඔබට බුදු කෙනෙකු මුණගැසුන හොත් කපා දමන්න. ඔබට රහතන් වහන්සේ කෙනෙකු මුණගැසුන හොත් කපා දමන්න. ඔබේ දෙමාපියන් ? ඔවුන් කපා දමන්න. ඔබේ ඥාතීන් ? ඔවුන් ද කපා දමන්න. ඔබට මෝක්ෂය ලබාගත හැකි වන්නේ මේ ආකාරයට පමණි. බාහිර දේවල් වලින් නිදහස් වූ විට ඔබ විරාගීව ස්වාධීන වන්නෙහි ය.
තමා පමණක් සරණ කොට යන්න.
මෙතෙක් කල් ඔබ තුලම තිබී ඇති දේ දෙස බලන්න.
සුබ ගමන්!!!
-රින්සායී-

Monday, June 4, 2007

ඔබට හැකිනම්...!

ඔබ වටා සිටිනා සැමදෙනම ඔවුන්ගේ සිහි විකල කරගන ඒ ගැන ඔබට දොස් පවරන විටත් ඔබට මනා සිහියෙන් යුතුව සිටින්නට හැකිනම්,
ඔබ අවට වන සැමදෙනම ඔබ සැකයට පාත්‍ර කරන විටත් ඔබට ඔබ ගැන විශ්වාසය තබා සිටිය හැකි අතර, සෙස්සවුන්ගේ සැකයට බදුන් වීමටත් ඉඩ සැලසිය හැකිනම්,
බලා සිටීමෙන් වෙහෙසට පත්නොවී බලා සිටීමට ඔබට හැකිනම්,
ඔබ ගැන අසත්‍ය ප්‍රකාශ කෙරෙන විටත් සත්‍යයෙහිම රැදෙන්නට ඔබට හැකිනම්,
ඔබට වෛර කරද්දීත් අවෛරයෙන්ම සිටීමට ඔබට හැකිනම්,
එසේම වඩා හොඳ බවකුත් වඩා නුවණැති බවකුත් කතාබහේදී නොහඟවන්නට ඔබට හැකිනම්,
සිහින දුටුවද ඒ සිහින ඔබගේ ස්වාමියා කර නොගත හැකිනම්,
ඔබට සිතන්නට හැකි උවත් සිතුවිලි ඔබගේ එල්ලය කර නොගත හැකිනම්,
ජය පරාජය වෙසින් ඔබ හමුවට එන මිතුරන් දෙදෙනාට එකසේ සැලකීමට ඔබට හැකිනම්,
ඔබ පැවසූ සත්‍යය අශිෂ්ටයින් විසින් මෝඩයන් හට උගුල් ඇටවීම සඳහා වැරදි ලෙස පවසද්දීත් එය ඉවසා අසන්නට ඔබට හැකිනම්,
ඔබ ජීවය දුන් දේ සුණු විසුණු වනු දැක ගෙවී ගිය මෙවලම් වලින් යලි ඒවා ගොඩනැංවීමට ඔබට හැකිනම්,
දූ කෙලියෙන් ඔබ දිනූ මුදල් සම්භාරය එකම ඔට්ටුවකට තබා ඉන් පැරදී ගිය විටත් ඔබට වූ පාඩුව පිලිබඳව වචනයක්වත් නොදොඞා සිටීමට ඔබට හැකිනම්,
ඔබේ හදවතත් නාඩි ශක්තියත් ඔබගෙන් ඉවත්ව දිගු කලකට පසුත් රැදී සිටුව'යි ඒවාට කීමට ඔබ තුල වෙන කිසිවක් නැතත් ඔබේ සේවය ඉටුකිරීමට ඒවාට බලකර සිටීමට ඔබට හැකිනම්,
ඔබේ ප්‍රතිපත්ති පවත්වා ගනිමින් ජන සමූහයකට කථා කරන්නට ඔබට හැකිනම්,
සියල්ලන්ම පිලිගන්නා අතර කිසිවකුත් පමණට වඩා එසේ නොකල හැකිනම්,
පොදු ජනතාවගෙන් ඈත් නොවී රජුන් සමග ඇවිදීමට ඔබට හැකිනම්,
සතුරන් හටත් මිතුරන් හටත් ඔබට රිදවිය නොහැකි නම්,
අනුකම්පා විරහිත ඔබට ඔබ සතු අවසාන මිනිත්තුවේදීත් එහි තප්පර හැටම වෑයමෙන් පිරවිය හැකිනම්,
විශ්වයේ ඇතිතාක් සියල්ල ඔබගේ ය.
එපමනක් ද?
ඔබ මිනිසෙක් ද වෙති.
එම්බා මාගේ පුත්‍රය !

-රුඩ්යාඩ් කිප්ලිං-